Friday, November 13, 2015

වෙන්වීම මෙන්ම මරණයද නියතයි.......

වෙන්වීමක් කියන්නේ කෙනෙක්ට ගොඩක් දැනෙන දෙයක් වගේම
අනිත් කෙනාට එතරම් දෙයක් නොවෙන්න පුළුවන්. සමහර සම්බන්දතාවලට
නමක් දෙන්න නොහැකියි මේ සමාජ ගර්භය තුල. ඒ සමහරවිට ඒවා සරල
වැඩි ඇති නැතිනම් සංකීර්ණ වැඩි ඇති. 
මොනවා වුනත් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ඈත් වෙන්න සිදුවෙන
එක මනුෂ්‍ය වගේම තමන් ප්‍රිය කරන සතුන් පවා නිසා ඇතිවිය හැකි දෙයක්.

සම්බන්දතාවක් ඇති වෙන්න අපි බොහෝ දෙනා කියනා පරිදි මහා කාලයක්
යා යුතුයි කියා කිව්වත් මාගේ අදහස එයට මොහොතක් වුවත් ප්‍රමාණවත්. එනමුත් 
වෙන්වීමෙන් දැනෙන දුක වේදනාව සමහරවිට සදාකාලික වෙන්න පුළුවන්.

අද අපි කෙනෙක්ට සැනසීම ගෙනත් දෙනවා එනමුත් හෙට කාලයත් එක්කම.
අපිත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාදාරන හේතු නොමැතිව මනුස්සයෝ ලෙස
දුරස් වෙන එක නම් අනුමත කල නොහැකියි.
අපි කුඩා කල සිට මහලු වනතුරා මාපියන්, යාළුවන්, ආදරවන්තයා හෝ වන්තියට 
ලංවෙන්න කැමතියි. එහෙත් අපිට ඔවුන්ව සදාකාලිකව කොහොමත් තියාගන්න බැරිබව 
ඔබ මෙන්ම මමත් හොඳින්ම දන්නා කරුණක්. අනෙක් කරුණ තමයි අපිට කෙනෙක්ගේ
හිතේ බලෙන් රැඳෙන්න බැහැ. සහෝදරකම් පවා එහෙමයි. අපි තව කෙනෙක්ට තමන්ගේම 
කියා සැලකුවත් ඔවුන්ට කුමනහෝ කරුණු නිසා අපව නොවටින්න පුළුවන්.

එය එසේ වුවත් අපි දුක් වී මිය යන්න යාමෙන් පලක් සිදුවෙන්නේ නැහැ. කවුරුන්වත්
පරාජිත වී නිකමුන් මෙන් ජීවත්ව මිය ගිය අය ගැන කතා කරන්නේ, සිහි කරන්නේ නැහැ.
නමුත් වැටෙන වාරයක් පාසා නැඟිට ජීවිතය සාර්ථක කරගෙන සමාජයට වැඩක් කල අය
ගැන මිනිසුන්ගේ හිතේ රැඳෙනවා ඉබේටම.

Saturday, August 15, 2015

සසර සැනසුම......

ඇය බොහෝ බලාපොරොත්තුව සිටි දිනය උදා විය. ඒ සරසවියෙන් අභිෂේක ලබන්නටය. සියුම් දුකක් හදේ තෙරපුනද
සතුටින් එය වින්දාය. පවුලේ අයත් සමඟ දැන් ආයෙත් ඉන්නට කල් ලැබුනද තවත් අපතේ හරින්න කියා කල් නොදමා
තවත් උසස් අධ්‍යාපන ලැබීමට පටන් ගන්නට අඩිතාලම දැම්මාය.
ඇය නමින් නිම්නාය.ලබාගත් උගත්කමට රැකියා සොයා යන්නට පටන් ගත් නිසා බොහෝ සිත් වේදනා වලට ලක් වන්නට විය.
දේශපාලන බලපෑම් මෙන්ම අවාසනාවත් සමඟ ඇතිවූ හේතු තිබුණි. නමුත් අවසානෙට නිම්නාට ඉගෙන ගත් ක්ෂේත්‍රයේම ව්‍යපාර උපදේශකවරිය වන්නට වරම් හිමි වුවාය.
තම ඉහල බලාපොරොත්තුව ඉටු වුවත් ජිවිතේ දුක ගැන ඇයට දැනෙන්න පටන් ගත්තේ මේ කාලයේදීමය. 
දිනෙන් දින ඉගෙනීම් කටයුතු මෙන්ම රැකියාවේ වැඩ ඉහල වෙත්ම මඳක් හෝ සිත නිවා ගත්තේ නවාතැන අසල වූ පන්සලට යාම නිසාය. 
හැකි අවස්ථාවල ගමේ මාපියන් වෙත ගොස් ඔවුන් දැක බලා ඉන්න අමතක නොකලද නෑදෑයන් පවා විවාහ වන්න කියා විවධ වූ කතා කියනා නිසා ගෙදරින් ඒ ගැන සොයන්නට යන බව දැනගත්තාය.




පන්සලේදීම නිතර දැක පුරුදු තරුණයෙක් හා ඇය පෙමින් බැඳී සිටියත් ඔහුද මහා බොරුකාරයෙක් බව දිනක දැනගත්තේ මිතුරෙකුගේ පණිවිඩයක් අනුව 
වෙනත් තරුණියක් හා හොටෙල් කාමරයක සිට එනවා සියැසින්ම දුටුවා නිසාය. එයින්ද යොවුන් ආදරය හා විවාහය ගැන තිබුණු විශ්වාසයද අහිමිව ගියේ නිම්නාටද නොදැනීමය.
එයින් ජිවිතේ බැඳීම් යනු දුකක් පමණක් බව පසක් කරගන්න ඇය රැකියාවේ කටයුතු වලට පමණක්ම සිත යොදවා සිටින කාලයේම රැකියා ස්ථානයේ සිදුවූ යම් අක්‍රමිකතාවක් නිසා
නිම්නා හටද නරක නාමයක් ගෑවිණි. අවසානයේදී ඇය නිවැරදි වුවද මිනිසුන්ගේ හැටි මෙන්ම සමාජය කොතරම් කුහකද කියා වටහා ගන්න පුළුවන්කම ලැබිණ. 

මාපියන්ගේ සිත් සතුටු කිරීමට හෝ කියා ඔවුන් සොයා දුන් දසුන් නමැති තරුණයෙක් හා විවාහ වෙන්නට ඇය සිතාගත්තාය. හැමදාමත් තනිව ගැහැනියකට ජිවත් වෙන්නට අපහසු යයි තම යෙහෙලියන් කියූ අදහස්ද
ඇයගේ මෙම තීරණයට බලපෑවාය. අවුරුද්දක් පමණ ඇසුරකින් පසු විවාහ වීමට දින නියම කරගෙන සිටින අතරතුර එම දසුන් වෙන අයෙක් හා කසාද බැඳ ඇති අයෙක් බව හෙළිවිය.

තවදුරටත් මේ ජීවිතය ගැන විසල් පැතුම් පතන්නේ මෙසේ දුක් විඳින්න කියාදැයි සිතුවා නිම්නා තම රැකියාවෙන් සමුගෙන තමා උපයාගත් දේ මාපියන්ට බාරදී ඔවුන්ගේ කැමැත්ත එතරම් නොතිබුණද එහෙත් කිසිත් කල නොහැකි නිසා අවසර දුන් පසුව වෙනත් ගම් පලාතක තිබෙන මෙහෙණි ආරණ්‍යයක් සොයා ගොස්
සසරින් එතර වීමේ මඟට පිවිසුනාය. 

Monday, July 27, 2015

ඇමතුම..... (කෙටි කතාවකි)

වාරයක් පාසාම දුරකථනය දෙස බැලුනේ කුමන හේතුවක් නිසාද කියා හිත ඇසුවේ නැත. කතා කරන්න කැමති කෙනාගේ අංකය මා ලඟ නැත. ඉල්ලීමට ද හිත නොදෙන්නේ කුමක් සිතාවිදැයි මා නොදන්නා නිසාය. 
ඔහුත් මාත් කලක පටන් සමාජ ජාලයේ මිතුරන් වීමු. එනමුත් හිතට නැගෙනා වාර ගණන දැන් දැන් වැඩි වෙමින් ඇත.
උසස් පෙළ අමතර පන්තිද හෙටට යෙදී ඇත. ඒ සඳහා සූදානම් විය යුතුය. 
"ආ නිමාලි දැන්ද ආවේ"යැයි කියමින් මගේ මිතුරිය පැමිණියේ තවත් අලුත් මිතුරෙකුද අපට හඳුන්වා දෙමින්ය. 
ඔහු නමින් පැතුම් ය. අහිංසක පෙනුමින් යුත් ඔහු සාමාන්‍ය පවුලක ළමයෙකි. මුල් දින කිහිපයේ වැඩි කතාවක් නොමැතිව හිඳි ඔහු මාගේ මිතුරිය අපේ සබයට එක්කාසු කරගත්තේ බලෙන්‍ ය.
පන්ති වැඩ අතපසු වුවද අන්තර්ජායේ සැරිසරන එක අමතක නොවෙනා දෙයකි. මාගේ හිතේ රැඳි මිතුරාද මට පෙම් කරතැයි නිශ්චිත හැඟීමක් නොවුයෙන් පුරුද්දට වාගේ සමාජ ජාලවල සිටියා මිසක ආසාව අඩුව යමින් තිබිණි. 


මා සිතුවේ වෙනදාටත් වඩා ඉගෙනීම් කටයුතු සදහා හිත යොදවනා එක වඩාත් යෝග්‍ය වනු ඇති බවයි.
මේ කාලය වනවිට පැතුම් මාගේ විස්වාසය දිනාගත් අයෙක් වී තිබුණි. එනමුත් ඔහුගේ බැල්මේ කුමක්දෝ නොකී දෙයක් ඇතැයි විටෙක හැඟුණි.
ඔහු දිනක් මට කෙටි පණිවිඩයක් එවා කියා තිබුනේ මා සමඟ දිග කතාවක් කීමට අවැසි බවකි. 
ඉන්පසු ඔන්ලයින් පැමිණි ඔහු ජිවිතේ අහිමි වූ පළමු ආදරය ගැන පැවසීය.
එය ඇසීමෙන් පසුව මා හට ඔහුගේ ආදරයේ තරම් වැටහුණු අතර අපගේ හිතවත්කම්ද වැඩිවිය.
අපගේ උසස් පෙළ විභාගයද අවසන්ව විවේකීව නිවසටව හිඳිනා කාලය පැමිණි අතර දිනක් පැතුම් මා හට ඔහු කැමතිබව කිවේය.
මාගේ අන්තර්ජාල මිතුරා මට කිසිදා ඔහුගෙන් කැමැත්ත ඇතිදැයි නොකීවේය . මා පැතුම් හා ආදරෙන් බැඳුණි. කිසිදා හරි තීරණයක් නොකියූ මාගේ ඔන්ලයින් යාලුවා වන නිලංග ආදරය පසුව පැවසුවත් එය ප්‍රතික්ෂේප කර මාගේ පෙමවතා හඳුන්වා දුන්නෙමි.පසු දිනෙක මා ඔහුට පැතුම්ගේ හා මගේ විවාහයට ආරාධනා කළෙමි.

Thursday, July 23, 2015

සමාව..........

"ඔයා අනිත් දවසේ ඉඳන් අලුත් ඉන්ග්ලිෂ් පන්තියට යන්න ලෑස්ති වෙන්න ඕනි" අම්මා කියුවේ කෝපයෙන් නොවුවද තදින් බව මට වැටහීණ. "ඒත් එදාට මම ආසම tv program එක යන්නෙත් පන්ති වෙලාවටමනේ" මම මුවින් නොකීවද සිතෙන් කල්පා කලෙමි.

එනමුත් පන්තියට දින ලං වෙත්ම මා හට නොයා බැරි තරමටම ගෙදරින් උපදෙස් ලැබෙමින් තිබුණි. තවද එම පන්තියට මා යාමට අකමැති වුයේ එහි වැඩි දෙනෙක් ළමුන් මට වඩා වයසින් බාල අය වීමයි. රූපවාහිනී වැඩසටහන ගැන තිබුණු කැමැත්ත මා යටපත් කරගෙන අනිත් දවසේ පන්තියට ගියෙමි.
එහිදී එතරම් විශේෂයක් නොවූ අතර දෙවැනි දින හදිසියේම පන්ති පැවැත්වුයේ නැත. පන්ති නැති වුයේ එහි සර්ගේ මිස් පන්තිය පටන් ගන්නාවිටම අසනීප විම නිසාය.


මට එහිදී සිදු වුනේ පුදුම අකරතැබ්බකි. වෙනදාට ගෙදරින් මා පන්ති අවසන්ව එක්කාගෙන යාමට එන නිසා බසයේ යාමට සල්ලි ගෙන එන්නට මා හට උනන්දුවක් තිබුනේ නැත. පන්ති නැති වූ දින මට ගෙදර එන්නට වුයේ යහළුවෙක්ගේ සල්ලි ඉල්ලාගෙනය.
කෙසේහෝ මා ගෙදර ආ විට අම්මා හා තාත්තා කලේ එක්ව මා හට දොස් කීමයි. ඒ හදිස්සියකටවත් සල්ලි ගෙනගොස් තිබුනේ නැති නිසාය. මට ද පන්තිය ගැන යටපත්ව තිබූ අකමැත්ත නැවත හිතට ආව නිසා අම්මලාට මමද කෝපයෙන් කිව්වේ " මට ඕනිනම් පමණක් මා පන්තිය සඳහා යන බවය".
එවිට තාත්තා " මේ ළමයින්ට අප සියල්ල කර දුන්නත් ඔවුන්ට ඒ ගැන හැඟීමක් නැතියි" කියා කෝපයෙන් කියුවද ඒ වදනින් මගේ සිත සලිත විය. ඉන්පසු මට මහත් පසුතැවිල්ලක් සිතුනි. නින්දට යන තුරා තාත්තාට මුහුණ නොදී උන්නෙමි. පසුව නින්දට පෙර මාපියන් වඳින්නට ගොස් තාත්තාගෙන් කියූ වදන් වලට
හඬමින් සමාව ගතිමි. 
ඉන් මාස කිහිපයකට පසු එම පන්තිය නැවත්වීමට සර්ට සිදුවිය. ඒ අනිත් ළමුන් බොහෝ දෙනා නොපැමිණීම හේතුවෙනි. 

Tuesday, June 23, 2015

මනුසත්කම (එක කතාවක්)

ඉපදුන දා දුවණියක්
හිනැහුනා මුළු පවුලක්
ගෙවුනා යම් කාලයක් 
දැනුනේ යම් අමුත්තක්

අසනීප වී නිතර දුවනී
සැනසුම සිතෙන් ගිලිහුනී
මාපිය සිටියේ තැවුලෙන්
පිළියම් සෙව්වේ ඉක්මනින්

අතපා දම් පැහැ වී උණ ගැනෙනා විට
හදේ සිදුරක් බව දොස්තර කී විට
වැලපුම් දී ඔවුන් බලා නොසිට
සුවය පතා ආධාර පැතුවේ හැකිවිට

සමහරු හිනා වුනේ මහා බොරු යයි කියා
එනමුත් පිහිට කෙරූ ය සිටියේ බොහෝ දෙනා
පියාගේ රැකියාවෙන් ලැබූ මුදල්ද හැකිසේ ලබා
එකල අනුව පිටරට ගියේ සුවය ගෙන එන්න පතා


සැබෑ ලෙස අසරණ වූ කල මිනිසුන් ලෙඩ දුක් වලින්
මෙලෙසින් අසරණ වෙයි කිසිදා නොසිතුව ලෙසින්
බොරුව කලත් වැඩිදෙනා වාසි තකා වැඩියෙන්
පිහිටවීම වටී මනුසත්කම හැමදා අගයමින්....

Tuesday, April 28, 2015

IT අය ගැන.........

මම ගොඩක් කැමති වගේ හදාරන ක්ෂේත්‍රයක් තමා information technology කියන්නේ. ඒත් එතන ඉන්නෙත් අනිත් අය වගේම මිනිස්සු තමා. 
ඒ ගැන ලිව්ව කවි පන්තියක් මේ....... :) 


Tuesday, March 31, 2015

නාකි විසේ......


ගැහැණු ළමුන් දකිනා කලම

හිතට ගනී තම මනමාලකම
පොදු ස්ථාන කියා අමතකම
වෙන්නට යයි නාකි ඉලන්දාරිකම

තම දූගේ වයසේ බව දන්නවා
ඒ වුනත් හිතේ ආශාව තෙරපෙනවා
පවුල් දිවියේ රස අමතක වෙනවා
කොල්ලන්ටත් එහා විසේ වැඩෙනවා

ගෑවී ගෑවී යන්නට පෙරුම් පුරනවා
ලැජ්ජා නැති මොවුන් ගැන කලකිරෙනවා
පොඩි එවුන් මල් මෙන් තලා දමනවා
මේ වගේ නාකින්ට යන්නට අපා නැතිවෙනවා...

Monday, March 16, 2015

ඔබේම නැඟණිය නේද?....

එක බත්පත බෙදන් කෑවා අමතකද අයියණ්ඩි
සුන්දර ඒ ළමා කාලෙට යන්න බැරිවේදෝ අයියණ්ඩි
මට රිදුනොතින් නුඹ හැඬුවා අමතක නෑ අයියණ්ඩි
එවන් සෙනේ නැවත කාගෙන් හිමි වේදැයි නොදන්නෙමි....











පියෙකු වගේ ඔබ දුන්නේ ආදරේ මදි නොකියන්න
ඒ ආදරේ ගැන මා තරම් දන්නේ වෙන කවුද
නෑනන්ඩිය ආවත් ඔබ දිවියම එකලුකර
ඔබේ හදේ සිටිනා එකම සඳ ඔබේම නංගි නේද....

Wednesday, February 11, 2015

එක් දිනක් මත වූ සදාකාලික ආදරය......

ආදරය බොහෝ අය දන්නේ හුඟාක් සුන්දර දෙයක් විදියට. ඒ වගේම ඒක විඳින අයත් කියන්නේ එහෙමයි. ආදරේ නිසා විරහව විඳින අයත් ඒ නිසාමද මන්දා ආදරේ කරපු කාලය ගැන හිතලා සතුටු වෙන්නෙත්. ඒත් විරහව කියන එක සමහරවිට වෛරය බවට පත් වෙන්නත් පුළුවන්. ඒ ඉතින් එක එක අය අනුව වෙනස් වෙනවා.


කොහොම වුනත් මම අද කියන්න හැදුවේ තව දින දෙකකින් විතර එන දවසක් ගැන. කියනකොටම කට්ටිය  දන්නවා ඒ තමයි Valentine's Day එක.

Valentine ආදිපාද නිසා ආරම්භ වුනා කියල සැලකෙන මේ දිනය දැන් අපේ රටෙත් බොහෝ පෙම්වතුන් සමරනවා. ඒ වගේම මේ දවස වෙළඳාම් කරන අයටත් සැහෙන්න වටිනවා. මේ දවස්ටිකේ ටිකක් ඇවිදලා බලන්න ටවුන් එකේ එහෙම. මොනතරම් දේ ආදරේ වෙනුවෙන් වානිජකරණය වෙලාද කියල. මම දන්නේ නැහැ ඔබ ආදරේ කරන කෙනෙක් නම් ඔබට පුලුවන්ද ඔබේ ආදරේට මිලක් දෙන්න? වෙන කවුරුහරි එහෙම කරන්න හැදුවොත් ඔබ කැමතිද? මට නම් හිතෙන්නේ Valentine's Day එක කියන්නේ ප්‍රේමයට මිලක් දෙන, තියෙන වටිනාකම් නැති කරන දවසක් කියල.

ඔබ සිතනවාද අපි දකින මල් වලින් විතරයි කෙනෙක් ආදරේ සමරන්නේ කියල? එහෙම නැහැ. තමන්ගේ වාසියට හිතන කොල්ලෝ නිසා කෙල්ලෝ කියක් නම් අනාත වෙලා යන දවසක්ද කියල නිකමට හරි හිතන්න. මුළු ලෝකෙම ආදරේ සමරන දවසක ඒ ආදරේ ඔප්පු කරන්න අපේ රටේ කෙල්ලෙක්ගෙ පිරිසිදුකම ගැන තියෙන එක පිළිගන්නා දෙයක් කෙල්ලෙක්ට අහිමි වෙන දවසක්. (එය පිළිගැනීම ගැන මෙහිදී මම කතා කරන්නේ නැහැ). 


තවත් අතකින් හිතුවොත් අපේ පිරිමි ළමයි කීයක්හරි එකතු කරලා ඒක මේ එක දිනයක් වෙනුවෙන් නාස්ති කරලා දාන දිනයක් නේද මේ එන්නේ ළඟදීම? සමහරවිට ඔවුන් තවම පාසල් යන අයෙක් වෙන්න පුළුවන්. එගේම කෙනෙක් සල්ලි එකතු කරන්නේ ගෙදරින් දෙන කියෙන් හරිනේ. රස්සාවක් කරන පිරිමි ළමයෙක් වුනත් ඉතුරු කරපු දෙකින් තමයි තමන්ගේ කෙල්ලට මොනාහරි දීලා මහා ඉහලින් සමරන්නේ. ඉතින් ඒවාට කියක් නම් වියදම්ද?

ඔබ මාත් සමඟ එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මඳක් කල්පනා කරන්න. ඔබ ඔහුට හෝ ඇයට ඇත්තටම ආදරේ නම් එක් දිනක් පමණක් කුමටද විශේෂත්වයක්? අනික සමහර අය දැන් Valentine's Day ගතකරන්න පමණක් කෙනෙක් හොයාගන්නවාලු. ඇයි ඔබ ඔබේ හැඟීම් ඒ තරම් බාල්දු කරන්නේ? ලෝකය කුමක් කලත් හොඳ දේවල් පමණක් අපි තෝරාගන්න වගබලාගන්න ඕනි. එවිටයි අපේ ජිවිත හොඳින් ගෙවන්න හැකි වෙන්නේ.

මට දැනුන දේ තමයි මේ. ඔබේ අදහසුත් කියලාම යන්න. :)


Monday, February 2, 2015

මඳක් සිතන්න...... නැගෙනහිර දිශාවේ දීප්තිය අඩු වෙන්න, නැති කරගන්න එපා...


"බලන්න පුතා ඔයාගේ මොකද ලකුණු අඩු? අර ඔයාගේ යාළුවා මේ ගමන තවත් ඉස්සරහට ගිහින්. ඔයා මොනවද පාඩම් කරනවා කියල කරන්නේ? ආ...... ඉන්නවකෝ එන සැරෙත් මෙහෙම වුනොත් තවත් පන්තිවලට දානවා"
මෙහෙම කතා අද කාලේ ගොඩක් නිවෙස් වලින් ඇහෙනවා. මාපියන් තම දරුවන් ඉහලටම යනවා දකින්න ඉතා කැමතියි. එහි වරදක් මාත් දකින්නේ නැහැ. එනමුත් හැමෝටම අති දක්ෂයෝ වෙන්න බැහැ. එය ගොඩක් දෙමාපියන් තේරුම් ගන්නෙත් නැහැ.

සමහර වෙලාවට ළමයා කැමති දේ නොව අම්මා හෝ තාත්තා කැමති දේ කිරීමටයි දරුවන්ට සිදුවන්නේ. එයම ළමයාගේද කැමැත්ත නම් එහි අවුලක් වෙන්න නැහැ. නමුඋත් දරුවා එයට අකමැති නම් ඔහුව මානසික වශයෙන් පීඩනයකට ලක්වෙන්නත් පුළුවන්.
මෙහිදී මා අපේ මාපියන්ට දොස් නගන්න උත්සාහ කරනවා කියා ඔබ සිතන්න එපා. එහෙත් තම දරුවාව මාපියන් මෙන්ම දෙමාපියන්ව දරුවාද තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වෙනවා.

තවද කවුරුවත් කැමති නැහැ තමන්ව තවෙකෙක් හා සසඳනවාට එය මාපියන් තේරුම් ගන්නෙම නැති දෙයක්. අනික පිට අය ඉදිරියේ තමන්ගේ වැරදි කීමෙන් දරුවන් ලක්වෙන අපහසුතාවය ඔවුන් තේරුම් ගත යුතුයි.
මන්ද මේ ලෝකයේ දරුවෙකුට ඉන්නේ මාපියන් වෙන ඔබ පමණයි යහමඟ පෙන්වන්න. 
ඒ වගේම දරුවන්ද සිතන්න ඕනි තමන්ගේ ජිවිතේ ලස්සන වෙනවාට හදවතින්ම කැමති වෙන්නේ මාපියන් හැර අන් කිසිවෙක් නොවෙන බවත්. ඉතින් ඔබත් ඔවුන්ගේ උපදෙස් ජීවිතේට ලං කරගන්න අවැසි වෙනවා.

කොහොම වුනත් දෙන අවවාද ආදිය හොඳින් පැහැදිලි කර දීමම ඉතා වැදගත්. විශේෂයෙන් පාසල් යන වියේ දරුවන් හට. මන්ද ඔවුන් තවම හරිහැටි ලෝකය දැක නැහැ. මාපියන් වන ඔබත් ඔබව අත්හැරදා කතා කලොත් ඔවුන් නොමඟ යාමේ හැකියාව වැඩියි.
දරුවන් වුනත් ඉගෙනීම ඉගෙන ගන්නා කාලයේ වැදගත්ම දෙය බව සිහිතබා ගත යුතුයි. 


ඉතින් මේ ලිපිය කියවන ඔබ කිනම් විදියේ අයෙක් වුවත් මා කියුව අවස්ථා කවදාහෝ මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මඳක් සිතා බලන්න.  :)