Friday, September 16, 2016

විරහ කතාවක්

දිනක් ලැබුණි නොහඳුනන ඇමතුමක්
පිළිතුරු ලෙස යැවුනේ කෙටි පණිවුඩයක්
ආරම්භය විය එය මිතුදමක
කාලය ගතවිය කාටත් හොරෙන්
නැතුවම බැරිවිය එකිනෙකවම
රහසින් කරයි පෙම් පවසගත නොහැකිව
පසුව පවසයි සිතැඟි නොදුටු වුවද

ඇරඹුමක් විය එය සොඳුරු ප්‍රේමයක...


හමුවිය කෙදිනකවත් නොදුටු ආදර හදවත් දෙකක්
එනමුදු වෙනස් නොවී තිබුනේ අවරුදු කිහිපයකි සෙනෙහස
ටිකෙන් ටික අවුල් වියවුල් ඇතිවිය ආදරයට 
සිනහවට වඩා දෙදෙනාම කඳුලට බරවිය
හදිසියේම ඔහුට හමුවිය අලුත් මිතුරියක්‌
කෙමෙන් කෙමෙන් ඔහු වෙනස් වන්නට විය 
දැක්වුයේ නිදහසට කරුණු ඔහු සිත් අමනාපකම් සැම දින
අවසන් කිරීමට සොඳුරු පෙම
ඇයට දැනුනි ඔහුගේ හැගීම්
අලුත් මිතුරිය ලංවී ඇති සැටි
කළහැකි දෙයක් නොමැත අන් කිසිවක්
හිත සනසා ගැනුම හැර ඇයට....


ඉල්ලනු එපා නැවත වරක් සමාව
මා ද හදවත් ඇත්තෙකු බව තේරුම්ගන්න
හිතනු එපා ඔබ නොමැති මා අසරණයි කියා
මතු පැතුමක් ද  නැත ඔබ මාගේ වෙන්න කියා

Sunday, August 7, 2016

මා සිත්ගත් මගේ කවි IV

සබඳතා......


01. නොපිලිගැනීම...

අපට හිතවත් වූවෝ අප හැර යති
අපව වටිනා අය අපට ලං වෙති
එනමුත් අප,
හිත පිලිගන්නා අයට පමණක් සලකති
අපට සලකනා අයව නොපිලිගෙන විඳවති...


02. හද තුළ රඳවා සෙනෙහේ
එකම ලේ යැයි සිතා
හැකි හැම දේ කලේ
මිතුරුදමයි සැමදා ඇත්තේ...


03. තාක්ෂනේ දියුණු වෙමින් 
සැමදෙනා තමා වෙනුවෙන් පමණක්
වද වෙමින් හැල්මේ දුවනා යුගයක
කර්කශ වූ මොලගෙඩිවලින්
කෙසේ සිසිලක් ඔබත් මාත් පතමුද

අද එකක් කියා හෙට තවත් දෙයක්
සොයා ගොස් පැටලෙන මිනිසුන් හමුවේ
හදේ තෙරපෙනා සිතුවිලි එක්කාසු කලාට
හැමදාමත් ඔබත් මමත් රැවටුනා පමණක් වේද

මරණය අතින් රැගෙන අප සැම ඉපදුනත්
අපටවත් හිමි නැති ජිවිතයක
ඔබටත් මටත් එහි සැබෑ අරුත දකින්නට
මේ සසරේ කවදා නම් හැකිවේද...

Thursday, July 28, 2016

මා සිත්ගත් මගේ කවි III

සඳට ආදරෙන් ලියූ කවි 1

සඳ තරු මල් පෙන්නා
පොළවත් අහිමි කිරීම
කුමන මායමක්ද
එහෙත් වන්නේද එයම නම්
කුමක් කරමුද?


සඳට ආදරෙන් ලියූ කවි 2

සඳ වටකර
තරු ගොන්නක් පෑව්වත්
සඳ පෙම් කල
එකම තරුවකි
ඇත්තේ නබෝ ගැබ තුළ...

ලොවම නිදනා නිශායම
ආදර කොඳ කැකුළු පිබිදෙයි
වලා වියන යට
සඳ හා තරුවේ

සෙනෙහස් කිරණින්....

සඳට ආදරෙන් ලියූ කවි 3

සඳ බලන් ඉන්නෙ රාත්‍රිය උදාවෙන කල්
කඩුපුල් මල් එක්ක දොඩමලු වෙන්න
ඒත් සමහරදාට පෙන්නවත් එන්නෙ නැත්තෙ
ඇයිද කියල අහන්න බයයිලු හඳට කඬුපුල් මලෙන්

තරහා වෙලා නොඑන්නම යාවි කියලා


Sunday, July 24, 2016

මා සිත්ගත් මගේ කවි II

දුරකථන කවි 1


දකින දකින හැම කෙනාම එල්ලීගෙන සිටින
දුරින් සිටින අය ලං කරවයි නිතර
පිස්සෝ නිසා වෙලාවකට මොලේද අවුල් කරන
දුරකථනය අපිට නැතුවම බැරිය....

රසවත් කතාවකි වෙලාවක් නොදැනුනද
සතයක් නොමැතිව සමහරු දුක් විඳින
තවකෙක් හට යකා නගී කැඩුන විට
ෆෝන් කඩේ අයියාගේ සරණයි එවිට...

එකට දෙකක්ම සමහරෙක් ළඟ ඇති
එකක්වත් නොමැතිව තවකෙක් දුක් විඳී
විවිධ මෝස්‌තර ඇතිමුත් ගැනුමට
සල්ලි නොමැතිව දුරකතනයෙනුත් වැඩක් නැත...

Wednesday, July 13, 2016

මා සිත්ගත් මගේ කවි I

අක්කගේ ආදරේ...

විටෙක ඈ මගේ දෙවැනි මව් හා සමවෙයි
ඉඳහිට පඬි වදනුත් පවසනවා නැතුවා නොවෙයි
ජොලියට වාගේ රණ්ඩුත් නැතුවා නොවෙයි
එනමුත් ඈ මගේ පණ වැනි සොයුරියම වෙයි

සිනා කතා බොහෝයි ලඟින් හිඳිනා විට
මටත් වඩා හොඳින් හඳුනයි මගේ සිත
ආදරේ කොපමණදැයි කිව නොහැක
සැමදා ආදරේ මේ අක්කා නුඹට...



Sunday, June 26, 2016

සෙනෙහසකි එය හද පතුලක සැඟවුන.... IV කොටස (අවසානය)

එයා එනවා කිව්වා දරුවා ලැබෙන කාලෙට බලලා යන්න. ඒත් ඒ වෙනුවට ආවේ එයාගේ යාලුවෙක් ළමයට ඕනි කරන දේ ටිකක් අරන්. මට හරිම දුකක් ඇති වුනා. අපි යාලුවගෙනුත් ඇහුව මොකද වෙලා තියෙන්නේ කියල.
එයා කිව්වෙත් වැඩ වැඩි නිවාඩු නැහැ වගේ කතා ගොඩක්. ඒත් මට නම් මොකක්හරි වරදක සේයාවක් තේරුනා. ඒත් මම අම්මා එක්ක වුනත් ඒ ගැන කියන්න ගියේ නැහැ. කොහොම වුනත් ලස්සනම ලස්සන දුවෙක් මට ලැබුනා.
අම්ම ළඟම නිසා මට එයාව රැකබලාගන්න ඒ හැටි කරදර වෙන්න ඕනි වුනේ නැහැ. විටෙන් විට අපිට ආරංචි එන්න ගත්ත මගේ ආදරණිය සැමියා ගැන. එයාට එහෙ තව කෙනෙක් නෝනා කෙනෙක් ඉන්නවා කියල.
ඒත් මට ඒ හැටි දුකක් හිතුනේ නැහැ. මොකද දුව ලැබුනට පස්සේ මට අමුතුම ශක්තියක් ලැබුනා වගේ ජීවිතේට මුහුණ දෙන්න. ඒත් මම ඔක්කොම ඉවසන් හිටියා. එයාගෙන් අහන්න ගියෙත් නැහැ. හැබැයි එයා වෙනදා වගේම සල්ලි නම් එව්වා.

අවුරුදු 5ක් විතර වුනා. එයාගේ ජිවිතේ ඇත්ත ඔක්කොම වගේ අම්මයි මමයි දැන් දන්නවා. ඒත් මම හිතුවා දුව වෙනුවෙන් දික්කසාද නොවී ඉන්න. දවසක් එයා විශ්වාස කරන්නත් බැරි වෙලාවක ගෙදර ආව. ආවේ කිසිම සල්ලියක්වත් නැතුව.
අර යාළුවෙලා හිටිය ගෑනි මෙයාව රවට්ටලා ඔක්කොම සල්ලිත් අරන් පැනලා ගිහින්. ඇවිත් තියෙන්නේ යාලුවෙක්ගෙන් උදව් අරන්. 
මගෙන් අන්තිමට සමාව ඉල්ලුව. ආයේ කවදාවත් ඔහොම ජරා වැඩ කරන්නේ නැහැ කිව්වා. මට දෙවියෙක් වෙන්න ඕනි නැති වුනාට දුවගේ ගෞරවය රකින්න මගේ මහත්තයාට මම සමාව දුන්න. ඒ ගැන දුකක් නම් නැහැ. 


නිමි...

Saturday, June 18, 2016

සෙනෙහසකි එය හද පතුලක සැඟවුන.... III කොටස

අපේ ඔෆිස් එකේ ඉන්නවා ගැහැණු ළමයෙක්. හරි අහිංසකයි. මාත් එක්ක සැහෙන්න යාලුයි. ඒත් මට එයාව මගේ කරගන්න හිතෙනවා. එය බොහොම දීප්තිමත් මුහුණින් ඒ ගැන මාත් එක්ක කිව්වා. මගේ තිබුන බලාපොරොත්තු සුන් වෙලා යනවා දැනෙද්දී පිටතින් මම එයාට පෙනෙන්න හිනා වෙලා හිටිය. හරි ඉතින් ඔයා එයාට කැමති නම් ඒ ගැන අදහසක් දෙන්න. පස්සේ මම යන්න ගියා. ඒත් පසුව හොයල බලද්දී ඒ කෙල්ල අකමැති  වෙලා. ගොඩක් දුකෙන් හිටිය එයාව මට නැති වුනාට එයාගේ සතුට මට වැදගත් කියල හිතුනා.

මම දවසක් අර  මගේ යාලුවටත් කියන්නේ නැතුව ගියා අර ගැහැණු ළමය මුණගැහෙන්න. විස්තර කියල මොකද ඇහුවා අකමැති. එයාට වෙන කෙනෙක් ඉන්නවලු. එයා බලන් ගියාම අවංක කෙල්ලෙක් අද කාලේ හැටියට. බොරු කලේ නැහැනේ. මම මගේ ආදරයට කිව්වා ඔයා හිත හදාගන්න කියල. ඔහොම කාලයක් ගත වුනා. දැන් දැන් මට අර පිරිමි ළමය කතා කරනවා වැඩියි වගේ. අම්මත් ඒ ගැන හෙවිල්ලෙන් ඉඳලා ඇහුවා. එහෙම වගේ නේද කියල.


ඒත් මට දැන් එයාව හිතෙන්නෙම යාලුවෙක් වගේ විතරයි. අවුරුද්දක් විතර යද්දී ඒ පිරිමි ළමය මගෙන් ඇහුවා කැමැත්ත. මම කිව්වා අම්මගෙන් අහන්න කියල. අම්මත් ඒ තරම් අකමැත්තක් තිබුනේ නැති නිසා මාත් ඔන්න ඔහේ කැමති වුනා. එයාට රට යන්න අවස්තාවක් ආව. ඒ නිසා අපේ විවාහයත් ඉක්මනට ගත්ත. එයා මාවත් ටික කාලෙකින් ගන්නම් කියල රට ගියා.

මේ අතර තමා දැනගත්තේ මගේ කුසට දරුවෙක් ඇවිත් කියල. එයා අපිත් එක්ක තිබුන බැඳීම් ඒක දැනගත්ත දවසේ ඉඳන් අඩු කළා. හරියට මම විතරක් වරදක් කළා වගේ.

Friday, May 13, 2016

සෙනෙහසකි එය හද පතුලක සැඟවුන.... II කොටස

අම්ම මොකද මෙතන? මම අම්මගෙන් ඇහුවා පුදුමයෙන්. අනේ නැහැ දුවේ මම මේ ළමයා වේදනාවෙන් වගේ ඉන්නවා දැකලා මෙතනින් යද්දී ඇවිත් බැලුවා විතරයි. ඒත් අම්මා දන්නවද මේ කවුද කියලා. මම අර එදා විස්තර කියපු බෝයි තමා මේ. හරි පුදුම හමුවීමක්. අපේ කතාව දිහා බලන් හිටිය ඒ බෝයි යන්තම් හිනාවක් දැම්ම. ජිවිතේ බොහෝ දේ අහිමි වුන මට ඔයාල වගේ ආදරෙන් ඉන්න පිනක් නැහැ එයා කියනවා. 

අඩුමතරමේ මට දැන් යන්නවත් තැනක් නැහැ. අනේ දරුවෝ ඕවා දැන් හිතන්න එපා. අපි මුලින් සනීප වෙලා ඉමු. අම්මත් යමු දැන් වාට්ටුවට. මම අම්මත් එක්ක ආයෙම ඇඳ ලඟට ආව. ඊටපස්සේ දවසේ අම්මව අසනීප අඩු නිසා ගෙදර එක්කන් යන්න අවසර ලැබුනා. ඒත් මම අර පිරිමි ළමයාව බලන්න පස්සෙත් ඇවිත් ගියා. එයාගේ පවුලේ විස්තර කිව්වා නිසා අපිට එහෙම නරකක් හිතුනේ නැහැ. ඒ නිසා තැනක් හොයාගන්නකල් අපි එයාට අපේ ගෙදර නවාතැන් දුන්න.

එයත් තමන්ගේ රස්සාවත් කරගෙන පාඩුවේ හිටිය. මමත් වෙනදා වගේම යාලුවෙක් වගේ එයා එක්ක හිටිය. ඒත් ඒ යහළුකම යටි හිතින් වෙන හැඟීමකට ඇරයුම් කරනවා වගේ මට නොතේරුනා නෙමෙයි. ඒත් මට වැඩිය තේරුමක් නැහැ ඒ ආදරයමද කියල. එයාට හිටියේ තාත්තයි කුඩම්මයි තව පොඩි මල්ලිලා දෙන්නෙකුයි. කුඩම්ම නිසා එයාට ගෙදර එපා වෙලා තමා එදා වහ බිලා තියෙන්නේ. මම අහන්නත් කලින් ඒ විස්තර එයා අම්මයි මමයි එක්ක කිව්වා.

ටික දවසක් යද්දී එයා කිව්වා අලුතෙන් නවතින්න තැනක් හොයාගත්ත කියල. ඒත් මම නම් එයා දුරස් වෙනවට ආස වුනේ නැහැ. ඒත් මට එපා කියන්නත් බැරි නිසා කමක් නැහැ කියල හිත හදාගන්න උත්සාහ කළා. එයත් හැමදාම වගේ මට මොකක්හරි කියන්න උත්සාහ කරනවා මට දැනුනා. ඒත් තාම නම් මොකුත් කිව්වේ නැහැ. ඒත් දවසක් එයා මට කිව්වා මුණ ගැහිලා කතා කරමු කියල. මමත් යමක් බලාපොරොත්තුවෙන් තමා ගියේ. මට කියන්න දෙයක් තියෙනවා.
කියන්නකෝ මම ආසාවෙන් කිව්වා. මට කෙනෙක් ගැන හැඟීමක් දැනෙනවා. ඒත් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයා කෙලින්ම ඕක අහන්න එයාගෙන්. මම කිව්වා. එයත් මට කැමතියි වගේ. එයා පැතුම් ගොඩක් හිතේ තියන් කතා කරනවා වගේ මට දැනුනා. එහෙනම් වැඩේ ලේසියිනෙ. 
හරි ඉතින් කවුද ඒ කෙනා කියන්නකෝ....

Sunday, May 1, 2016

සෙනෙහසකි එය හද පතුලක සැඟවුන.... I කොටස

වැස්සත් එක්ක මම බස් නැවතුමට ආවේ සර්ට පින් දෙන ගමන් පන්තිය ඉක්මනට ඉවර කරපු නිසා. මුළු අහසම කළු වෙලා තාමත් නැහැනේ බස් එකක් පේන්නවත්. හයියෝ ඔන්න වහින්නත් පටන් ගත්තා.
එහෙම ඉන්නකොටම කවුද කොල්ලෙක් ඇවිත් මගේ ඇෙඟ් වැදුනා. කොහෙද හලෝ මේ යන්නේ? මම උත්තර දුන්නේ තරහින්. මොකද කුඩේත් තව ටිකෙන් අත්හැරෙනනවා මේ කෙනා නිසා. සොරි නංගී සොරි මගේ මුණ දිහා එයා බලද්දී
කොහේදෝ ඉඳලා ආව හුරුපුරුද්දක් මගේ හිතට දැනුනා. ඒත් මට ඒ ගැන තවත් හිතන්න වෙලාවක් වුනේ නැහැ බස් එකක් ආව නිසා. 
මම අනිත් දවසෙත් පන්ති ඇරිලා වෙනදා වගේ එද්දී එදා සිද්දිය මතක් වුනා. ඒත් ඉතින් කවුරු දන්නා කෙනෙක්ද මගේ විකාර සිතුවිලි ගැන මම මටම බැන ගත්තා.  හැමදාම අම්මා මම එනකල් මඟ බලන් ඉන්නවා ඇති. ඒ නිසා ඉක්මනට බස් එකට නගින්න හදද්දී මාව වැටෙන්න වගේ යද්දීම කවුද ඇවිත් මාව ඇතුලට තල්ලු කළා.
පස්සේ බලද්දී එදා අර  ඇෙඟ් වැදුන කෙනා නේද කියල.

මම අද නම් හිතාගත්තා අම්ම එක්ක විස්තරේ කියන්න. මොකද අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරක් නිසා. තාත්තගේ හදිසි වියෝව වෙලත් දැන් අවුරුදු දෙකක් විතර ඇති. මම පොඩි කාලේ ඉඳන් තාත්ත එක්ක ඉන්න ආස වුනාට තාත්ත නැති වුනාට පස්සේ අම්ම එක්ක තමා ගොඩක්ම ලං වුනේ. කොහෙද ළමයෝ අද ගියේ අම්ම අහද්දී තේරුනේ ගෙදරට මම ඇවිල්ලා නේද කියල.
ඉන්නකෝ අම්මේ මම පොඩි කතාවක් කියන්න ඔයාට. කොහොමහරි මම අම්මට අර විස්තරේ කිව්වා. අම්මා වැඩි වෙනසක් පෙන්නුවේ නැති වුනාට මොකක්හරි දෙයක් හිතුනද කියලත් මට නොදැනුනා නෙමෙයි. ඒත් ඒ අම්මලාගේ හැටි වෙන්න ඇති කියල මම හිතුවා. 
අනිත් දවසේ අම්මට හොඳටම අසනීප වෙලා. ප්‍රෙෂර් වැඩි වෙලා. පන්ති යන එකත් මම නවත්තලා රෝහලේ නවතින්න වුනා. මම එහෙම ඉන්න ගමන් කල්පනා කලේ මොකද අම්මට එකපාරටම අසනීප වුනේ කියල. ඒත් විශේෂයක් හිතාගන්න බැරි වුනා. 

කොහොම වුනත් කවුද මන්ද වහ බීලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙනවා හැමෝම කලබලෙන් බලනවා අපි දැක්ක. හොයලා බලද්දී තමයි දැක්කේ අර ළමයා මට බස් නැවතුමේදී මුණ ගැහුණ. ඒ වෙලාවේ මට සැහෙන්න හිතට දුකක් ඇති වුනා. ඒත් බලන්න යන්නවත් විදියක් නැනේ. අම්මව තනියම වාට්ටුවේ දාල. අනික එයා වේදනාවෙන් ඉන්නේ. ඒ ළමයා ගෙදරින් සලකන්නේ නැහැ කියලලු වහ බිලා තියෙන්නේ. 
මට අනිත් අය කතා කරනවා ඇහුනා. අනිත් දවසට එලි වුනා. මටත් හරි නින්ද තිබුනේ නැහැ. මම අම්ම කෝ කියල බලද්දී පෙන්න නැහැ ඇෙඳ්. මම අම්මව හොයන ගමන් අර කොල්ල ඉන්න වාට්ටුව පැත්තට ගියා. මෙන්න පුදුම දෙයක්...

Monday, February 29, 2016

පතිනි දුක

ඇරඹු යුග දිවිය අතරමඟ
අසරණය ඔහු අහිමි වූයෙන් ගත සුවය
එන්න එන්නටම දිවිය කටුක බව පසක් වී
ගියෙමි මා රැකියාවකට ඔහු සුව කරගැනුමට

ලැබුණු පඩියද මද වුවත්
ඉවසා සියල්ල කලෙමි වැඩ හැකි පමණ
ටික දිනක් යනවිට
ප්‍රධානියාගේ ඇගෑලුම් වැඩිවිය මෙමට

පලා යන්නට දැරූ තැත ඔහුගෙන්
රැකියාව අහිමි වන නිසා වලකාගෙන 
සිතුවෙමි සැමියාගේ සුවය වෙනුවෙන් 
මගේ ආත්මය පාවා දෙන්නට
සල්ලාල මිනිසෙකු හමුවේ

දැනගතහොත් කවුරුන් හෝ මෙය
වරදකාරිය මා බව කියනු ඇත
එවන් චෝදනා කරන අය
මගේ පණ හා සම සැමියා 
රැක ගන්නට සහාය වනු ඇතිද?

Tuesday, February 2, 2016

මේ ආදරයම වෙයි 1

කාලෙකින් මේ පැත්තේ ඇවිත් ලිපියක් ලියන්න බැරි වුනා. ඒත් ඔන්න අද ආවා.කලකට ඉහතදී මම ආදරය වෙනුවෙන් ලිව්වා කවි නිර්මාණ කිහිපයකුත් අරගෙන. කොටස් වශයෙන් කවි ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ඉන්නේ :)